ගැබිණි මවකගේ චිත්ත වේග දරුවාට බලපාන්නේ කෙසේද?

June 5, 2020
rr-1200x675.jpg

මයින්ඩ් හීල්ස් උපදේශන මනෝවිද්යාඥ
අරෝෂා දසනායක මහත්මියwww.mindheals.org  |   071 3120 740

මිනිසුන් වශයෙන් අප සෑම මොහොතකම දුක සතුට බිය ආදී චිත්තවේග (emotions)තුළ දෝලනය වෙනවා. උදෑසන නින්දෙන් අවදි වූ මොහොතේ පටන් රාත්‍රී නින්දට යන තුරුම අප විවිධ චිත්තවේගයන් අත්විඳිනවා. අපගේ පෞරුෂය සංවර්ධනය වීම සඳහා මෙන්ම ජීවිතයේ සාර්ථකත්වය සදහා චිත්තවේගයන් ගේ බලපෑම ඉතාම වැදගත් වෙනවා.

පුද්ගලයකුගේ පෞරුෂය සකස්වීම කෙරෙහි ජාන එසේත් නැත්නම් ප්‍රවේණිය ඉතා වැදගත් සාධකයක් බව විද්‍යාඥයින් පෙන්වා දී තිබෙනවා. ඒ අනුව පුද්ගලයකුගේ චිත්තවේග සකස්වීම කෙරෙහි ද ජාන බලපෑම වැදගත් සාධකයක් බව පෙනී යනවා. එහෙත් ඇතැම් විද්‍යාඥයන් ගේ නවතම පර්යේෂණ වලට අනුව පෙනී යන්නේ පුද්ගලයන්ගේ චිත්ත වේග සකස් වීම කෙරෙහි ජාන බලපෑමටත් වඩා ඔහුගේ පරිසරයේ බලපෑම ඉතා වැදගත් සාධකයක් වී ඇති බවයි. ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට යම් පුද්ගලයෙක්ගේ චිත්තවේග සැකැස්ම පූර්ව ප්‍රසව අවධිය දක්වාම දිව යනවා.

කුඩා දරුවාගේ පටන් වැඩිහිටි විය දක්වාම චිත්තවේග සංවර්ධනය සම්බන්ධයෙන් මවගේ මානසික සෞඛ්‍ය ඉතා වැදගත් සාධකයක් බව විද්‍යාඥයින් පර්යේෂණ තුළින් ඔප්පු කර පෙන්වා දී තිබෙනවා. ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජැනට් ඩිපීට්‍රෝ( Janet Dipietro) විසින් කරන ලද පර්යේෂණයකට අනුව ඇය පෙන්වා දෙන්නේ අධික මානසික පීඩනයකින් යුක්තව සිටි මවුවරුන්ගෙන් බිහිවූ දරුවන් ළදරු අවධියේදී විවිධ ශාරීරික සෞඛ්‍ය සම්බන්ධ ගැටළු වලට මුහුණ පා ඇති බවයි. නින්ද ආශ්‍රිත ගැටළු, ආහාර ජීර්ණය ආශ්‍රිත ගැටළු, නොසන්සුන් බව සහ නුරුස්නා බව ආදී ලක්ෂණ ඉතා පැහැදිලිව ඔවුන් තුළ විද්‍යාමාන වු බව ඇය පෙන්වා දෙනවා. එපමණක් නොව එවැනි දරුවන් තරුණ වියට පත් වූ විට ප්‍රජානනය ආශ්‍රිත ගැටලු, චර්යාත්මක ගැටලු සහ චිත්තවේග සම්බන්ධ ගැටළු වලට මුහුණ දෙන බවද ඇය පෙන්වා දෙනවා. කාංසාමය තත්ත්වයෙන් පසුවූ එසේත් නැතහොත් බිය, තැතිගැන්ම වැනි චිත්ත වේගයන් අසාමාන්‍ය ලෙස අත් විඳි මවුවරුන්ගෙන් බිහිවූ දරුවන් තුළ අසාමාන්‍ය හැසිරීම්, ආවේගශීලී බව, අධි ක්‍රියාශීලීත්වය සහ අවධානය පවත්වාගෙන යෑමේ ගැටලු විද්‍යාමාන වූ බව ද ඇය තව දුරටත් පෙන්වා දෙනවා.

එපමණක් නොව කොලොම්බියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කැතරින් මන්ක් ( Catherine Monk), ඇගේ පර්යේෂණයකට අනුව පෙන්වා දෙන්නේ විශාදය,මානසික පීඩනය, කාංසාව වැනි රෝගී තත්ත්වයන් ගෙන් පසුවූ මව්වරුන් බිහි කරන ලද දරුවන්ගේ හෘද ස්පන්දන වේගය යහපත් මානසික සෞඛ්‍ය තත්වයෙන් පසුවූ මව්වරුන් බිහි කරන ලද දරුවන්ගේ හෘද ස්පන්දන වේගයට වඩා වැඩි බවයි. මෙම ළදරුවන්ගේ හෘද ස්පන්දන වේගය වැඩි වීම, ඔවුන්ගේ චිත්ත වේග පාලනය, ක්ලමතය සාර්ථක ලෙස පාලනය කිරිම (Stress regulating system)කෙරේ ඍජු ලෙස බලපෑම් එල්ල කරන බව එම විද්‍යාඥවරිය පෙන්වා දී තිබෙනවා. එපමණක් නොව මෙවැනි අහිතකර චිත්තවේග යටතේ පසුවන මව්වරුන් බිහි කරන දරුවන්ගේ චිත්තවේග සැකැස්මට අදාළ වන ජාන පවා වෙනස් කම් වලට ලක් වන බව ඇය පෙන්වා දෙනවා.

ඉහත කරුණු අනුව පැහැදිලි වන්නේ පුද්ගලයෙකුගේ චිත්තවේග ගොඩනැගීම සම්බන්ධයෙන් මවගේ මානසික සෞඛ්‍යය ඉතා වැදගත් සාධකයක් වන බවයි. දරුවකු බිහිකිරීමට අපේක්ෂා කරන ඕනෑම කාන්තාවක් තම මානසික සෞඛ්‍ය පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු බව අවධාරණයෙන් ම දැක්විය යුතු කරුණක්. ධනාත්මක චිත්තවේගයගෙන් හෙබි සහ යහපත් පෞරුෂයකින් හෙබි පුද්ගලයෙකු සමාජයට දායාද කිරීමට නම් මවද ඉතා යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වාගෙන යා යුතු අතර ඒ සඳහා අවශ්‍ය පියවර ක්‍රියාවට නැංවීම ඉතාම වැදගත් කරුණක්. අප තුළ ඇතිවන චිත්ත වේගයන් ට අදාලව ජීව රසායන ක්‍රියාවලියක් නිරන්තරයෙන් ම ශරීරය තුළ සිදු වන බැවින්, මිනිස් සිරුරට හිතකර රසායනික ද්‍රව පමණක් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කර ගැනීම කෙරෙහි මව් පදවිය සඳහා සූදානම් වන කාන්තාවක් සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය කරුණක්. සන්සුන් මානසික තත්ත්වයක් පවත්වා ගෙන යාම, යම් මානසික ගැටළු තිබේ නම් ඒවාට පිළියම් යොදා ගැනීම, ඍණාත්මක චිත්තවේග හැකි තාක් අවම කිරීම සඳහා පියවර අනුගමනය කිරීම ආදී කරුණු පිළිබඳව ගැබිණි මවක් සිය අවධානය යොමු කිරීම යහපත් පෞරුෂයකින් හෙබි දරුවකු බිහිකිරීම සඳහා අත්‍යවශ්‍ය කරුණක්. සැමියා සහ පවුලේ අනෙකුත් සාමාජිකයින් ද මේ සඳහා ක්‍රියාකාරී දායකත්වයක් සැපයීම අත්‍යවශ්‍ය කරුණක් බව ද සඳහන් කළ යුතුයි.

අරෝෂා දසනායක
උපදේශන මනෝවිද්‍යාඥ
Mind Heals.

mindheals_white

Mind Heals is a social service oriented organization incorporated under the laws of Sri Lanka with the primary objective of supporting the nation to relieve from adverse emotional/ psychological/ mental health conditions. Mind Heals introduces a ‘Digital Health Service platform’ specifically focused on mental health care and psychotherapy services. The platform brings together licensed professionals serving diversified areas of psychology and mental health, to provide accessible mental health care.

Copyright © 2020 Flincube. All rights reserved.

X