අහිමි ආදරය වෙනුවෙන් ජීවිත කාලය පුරාම හැඬිය යුතුද?

August 20, 2021
blog-1200x645.jpg

මයින්ඩ් හීල්ස් උපදේශන මනෝවිද්යාඥ
අරෝෂා දසනායක මහත්මියwww.mindheals.org  |   071 3120 740

පසුගිය සතියේ දිනක ඉතා සුන්දර යුවතියක් මගේ උපදේශන කාමරයට ඇතුල් වුණා. ඇය හරිම සුන්දරයි. ඒ වගේම කඩවසම්. එහෙත් ඈ හිටියේ හරිම කනස්සල්ලෙන්. අසුනට බර දුන් ඇය ඉකි බිඳිමින් හඬන්නට වුණා. “මැඩම්, මගෙ relationship එක  break up වුනා. මට මගෙ  හිත හදාගන්න බෑ. මට එයා නැතිව ජීවත් වෙන්න අමාරුයි.” ඒ ප්‍රකාශ කළේ අප්‍රමාණ වූ වේදනාවකින්.

ඇය එක්තරා පෞද්ගලික විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරියක්. මීට වසර හතරකට පමණ පෙර ඈට ඇගේ පෙම්වතා හමුවී තිබෙනවා.  එහෙත් ඔවුන් දෙදෙනා ජාතීන් දෙකකට සහ ආගම් දෙකකට අයත් දෙදෙනෙක්.

“අපි දෙන්නා එකිනෙකාට පුදුම විදිහට ගැළපුණා. මේ අවුරුදු හතරම අපි දෙන්න ගතකළේ පුදුමාකාර ආදරණීය ජීවිතයක්. මට ඔහු මුණ ගැහෙනකොට ඔහුට රැකියාවක් තිබුණෙ නැහැ .මං ඔහුට ලොකු ශක්තියක් වුණා. ඔහුට දියුණුවෙන්න අත දුන්නා .අපි දෙන්නා හොඳටම ශක්තිමත් වුණාට පස්සේ විවාහ වෙන්න සැලසුම් කළා” ඉකිබිඳුම් අතරින් ඈ ඇගේ ආදර කතාව දිග හැරියා.

“අපේ දෙමව්පියෝ මේ සම්බන්ධතාවයට කැමති නැතිවෙන බව ඔහු යි මායි දෙන්නම දැන හිටියා.  වරින් වර කිහිප වතාවක්ම  විවාහ වෙමු කියලා  ඔහු මට යෝජනා කළා. ඒත් මට ඕනේ උනේ ස්ථාවර වෙන්න”.

ඈට ඇගේ කතාව දිග හරින්න ඉඩ දීල මම ඈට සවන් දූන්න.

“පහුගිය අවුරුදු හතරම අපි හිටියේ එකම ගෙදරක. අපි හොඳට ජීවිතේ වින්ද. විනෝද  වුණා. ජීවිතේ රස වින්ද. කවදහරි දෙමව්පියන්ට ඇත්ත කියන්න හිතාගෙන හිටිය. එයා මෙහෙම වෙනස් වෙයි කියල කවදාවත් හිතුවේ නෑ. ඒත් එයා මාව අමතක කළා ” ඇය  පැවසුවා.

මේ වන විට ඇගේ පෙම්වතා ඈ හැර ගොසිනි. ඒ පවසන ආකාරයට ඔහු සිය දෙමාපියන් ගෙන ආ විවාහ යෝජනාවකට කැමැත්ත ප්‍රකාශ කර ඇත. දෙමාපියන් රිදවීමට ඔහුට නොහැකි  බව පවසා ඔහු ඇගෙන් සමුගත් බව ඇය පැවසුවේ ඉකිබිඳුම් අතරිනි. ඇයට හිමිව ඇති එකම ත්‍යාගය නම් විශාදයයි (depression).

සැබැවින්ම ආදරය තරම් සොඳුරු චිත්තවේග යක් මෙලොව තවත් නොමැති තරම්ය. යමෙකුගේ ආදරය ලැබීම මෙන්ම යමෙකුට සෑබෑ ලෙස ආදරය කිරීමට ලැබීමද යමෙකු ලබන මහත් භාග්‍යයකි. එහෙත් ආදරය වෙනුවෙන් අප අපේ ජීවිත පරදුවට තැබිය යුතුද? අපේ ජීවිත අඳුරට ඇද දැමිය යුතුද? අපේ ජීවිත විනාශ කර ගත යුතුද? සැබැවින්ම නැත. ආදරය තුළින් අප ආලෝකයට මිස අඳුරට ගමන් කළ යුතු නැත.

ආදරයේ පදනම විශ්වාසය වුවද  ආදරය කිරීමේදී අප සැළකිලිමත් විය යුතු බොහෝ තැන් ඇත. ඉන් පළමුවැන්න නම් අප ජීවත් වන්නේ “වෙනස් වීම” නිත්‍ය වූ ලෝකයක බව දැනගෙන ආදරය කිරීමයි. අප ආදරය කරන තැනැත්තා කොතරම් විශ්වසනීය පුද්ගලයෙකු වුවද, මෙම වෙනස් වීමේ දහම විවිධ හේතු සාධක මත ඔහුට ද බලපානු ලැබිය හැකි බව අවබෝධ කොට ගෙන ජීවත් වීම වෙන් වීමකදී දැනෙන වේදනාව අවම කර ගැනීමට ඉතා වැදගත්. එමෙන්ම අප රැඳිය යුතු සීමා මායිම් ඉක්මවා නොගොස් කටයුතු කිරීමට ද එය ඉතා වැදගත්. ජීවිතය පිළිබඳ පසුතැවිලි නොවීමටද එය ඉතා වැදගත්.

ජීවිතේ වැරදුනොත් යළි සකස් කිරීම අපහසු යැයි කියමනක් තිබුණද, ජීවිතයේ වැරදුනු තැන්  ශක්තියක් කොට ගෙන ඊටත් වඩා සුන්දර ජීවිතයක් සකස් කර ගැනීම අපහසු දෙයක් නොවේ. එහෙත් අනවශ්‍ය ලෙස විශ්වාසය තැබීමෙන්  ජීවිතය වරදවා ගෙන ඉන් අප්‍රමාණ වේදනා අප විඳිය යුතු නැත. ඔබද ආදරය විශ්වාස කරන්න.

ආදරයට ආදරය කරන්න. එහෙත් හැඟීම් වලට පමණක් නොව  බුද්ධියට ද ඔබ  ඔබ ආමන්ත්‍රණය කිරීමට ඉඩ දෙන්න.

මයින්ඩ් හීල්ස් උපදේශන මනෝවිද්‍යාඥ
අරෝෂා දසනායක මහත්මිය

mindheals_white

Mind Heals is a social service oriented organization incorporated under the laws of Sri Lanka with the primary objective of supporting the nation to relieve from adverse emotional/ psychological/ mental health conditions. Mind Heals introduces a ‘Digital Health Service platform’ specifically focused on mental health care and psychotherapy services. The platform brings together licensed professionals serving diversified areas of psychology and mental health, to provide accessible mental health care.

Copyright © 2020 Flincube. All rights reserved.

X