හොඳ බැඳීමකට අවබෝධය අත්‍යවශ්‍යයි.

August 20, 2021
Blog-Banner--1200x646.jpg

මයින්ඩ් හීල්ස් උපදේශන මනෝවිද්‍යාඥ
අරෝෂා දසනායක මහත්මිය – www.mindheals.org  |   071 3120 740

බැඳීම් කියන්නේ මිනිස් ජීවිතේ ප්‍රධානතම කොටසක්. ඒ අතරින් ගැහැණු සහ පිරිමි අතර ජනිත වන බැඳීම්,එසේත් නැතහොත් ආදර බැඳීම් සුවිශේෂී වෙනවා. එහෙත් මෙම සුවිශේෂී බැඳීම් සෑම එකක්ම පාහේ දිගු කල් පවතින්නේ නැහැ. ඇතැම් ආදර බැඳීම් අතරමගදී කැඩී බිඳී යනවා. එසේ වන්නේ ඇයි?

ඊට ප්‍රධානතම හේතුවක් ලෙස දෙදෙනකු අතර තිබිය යුතු වැදගත්ම කරුණක් වන එකිනෙකා තේරුම් නොගැනීම, එසේත් නැත්නම් අවබෝධය (understanding) මදිකම දක්වන්න පුලුවන්. අවබෝධය දෙදෙනෙකු අතර බැඳීමකදී තිබිය යුතුම කරුණක්. ඕනෑම ආදර බැඳීමකදී දෙදෙනා තුළම, දෙදෙනා පිළිබඳව නිසි අවබෝධයක් නොතිබුණහොත් විවිධ ගැටලු ඇති වන්නට පුළුවන්. එමෙන්ම එම බැඳීම තුළ ඔබ අත්විඳින්නට අපේක්ෂා කරන සතුටද නොලැබී යන්නට පුළුවන්.

ඔබේ සහකරු හෝ සහකාරිය අවබෝධ කර ගැනීම යනු කුමක්ද?

මෙලොව ජීවත් වෙන කිසිම පුද්ගලයෙකු කිසිවිටෙක අනෙකාට සමාන වන්නේ නෑ. කිසිම පුද්ගලයෙකුගේ ගති ලක්ෂණ, චරිත ලක්ෂණ සහ ආකල්ප කිසිසේත්ම තවත් පුද්ගලයකුට සමාන වන්නේ ද නැහැ. ඕනෑම පුද්ගලයෙකු හැදෙන වැඩෙන පරිසරය සහ ඔහුගේ හෝ ඇයගේ ජානමය පදනම එකිනෙකාට සම්පූර්ණයෙන්ම වෙනස්. එබැවින් ඔබේ සහකරු හෝ සහකාරියගේ එසේත් නැත්නම් ඔබේ ආදරවන්තයාගේ හෝ ආදරවන්තියගේ සමානතා සොයා ගැනීම ඔබට එතරම් පහසු දෙයක් වන්නේ නෑ. සෑම විටම සෑම පුද්ගලයකුටම එකිනෙකාට වෙනස් පෞරුෂත්වයෙන් යුක්ත පුද්ගලයන් බව අපට නිරන්තරයෙන් දැකිය හැකි කරුණක්. එබැවින් ඔබ යමෙකු හා ආදරයෙන් බැඳෙන විට, එසේත් නැත්නම් ඔබ යමෙකු හා විවාහ වන විට පළමුකොටම මේ පිළිබඳව අවබෝධ කරගත යුතු වෙනවා. දෙවනුව ඔබ ඔබේ සහකරු හෝ සහකාරිය පිළිබඳව අවබෝධ කර ගැනීමට උත්සාහ කර ගත යුතු වෙනවා. ඔහුගේ හෝ ඇයගේ ආකල්ප මොනවාද, රුචි අරුචිකම් මොනවාද, ඔහුට හෝ ඇයට කෙබඳු පෞරුෂ ලක්ෂණ තිබේද, ඔහුගේ හෝ ඇයගේ දුබලතා මොනවාද යන්න අවබෝධ කර ගැනීම සාර්ථක ජීවිතයක් ගත කිරීම සඳහා අත්‍යවශ්‍ය වෙනවා. ඔබගේ සහ ඇයගේ සමාන ගති ලක්ෂණ මොනවාද අසමානකම් මොනවාද යන්න පිළිබඳව අවබෝධය ද දැන සිටීම මෙහිදී ඉතාම වැදගත්.

ඔබ ඔබේ සහකරු හෝ සහකාරිය අවබෝධ කරගත යුත්තේ ඇයි?

“අප තවකෙකු හඳුනාගැනීම එතරම් වැදගත් ද?” ඔබට ඇතැම් විට එසේ සිතෙන්නට පුළුවන්.ඇත්තෙන්ම ඔව්. එය ඉතා වැදගත්. ඔබට ශක්තිමත් සහ ස්ථාවර බැඳීමක් නිර්මාණය කර ගැනීමට නම් ඔබ ඔබේ සහකරු හෝ සහකාරිය හඳුනාගත යුතුමයි. එසේ එකිනෙකා අවබෝධ කර ගැනීම ප්‍රීතිමත් සහසම්බන්ධතාවයකට මග පාදා දෙනවා. අප අනෙකාව අවබෝධ කර ගන්නා විට ඔහුගේ හෝ ඇයගේ සිතේ සතුට ඇති වෙනවා. ආදරය ඇති වෙනවා. විශ්වාසය ජනිත වෙනවා. ජීවිතය සාර්ථක වෙනවා.  ඔබ දෙදෙනාට ප්‍රීතිමත් ලෙස කාලය ගත කිරීමට එක් හේතුවක් වෙනවා. මතුපිටින් බලන විට තවකෙකු තේරුම් ගැනීම පහසු ලෙස පෙනුනත් එය එතරම්ම පහසු කාර්යයක් නොවේ. ඒ නිවැරදි යතුර සොයා දොරගුළු හැරීමකට සමාන වෙනවා. එසේ දොරගුළු හැරීම තුළින් ඔබට අනෙකාගේ ඇතුලාන්තයේ ඇති බොහෝ රිද්මයන් ට සවන් දෙන්නට පුළුවන් කම ලැබෙනවා.

ඔබේ සහකරු හෝ සහකාරිය අවබෝධ කරගන්නේ කෙසේද?

1. හොඳින් සවන් දෙන්න.
මිනිසුන් වන අප බොහෝවිට අන්‍යයන් හා දොඩමලු වීමට බොහෝ කැමතියි. එහෙත් අන්‍යයන්ට සවන්දීම අප සිදු කරන්නේ හරිම අඩුවෙන්. ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය අවබෝධ කරගැනීමට නම් පළමුවෙන්ම ඔබට හොඳ සවන් දෙන්නෙකු බවට පත් වීමට සිදු වෙනවා. ඔහුට හෝ ඇයට සවන් දීමෙන් ඔවුන්ගේ ඇතුළාන්තයේ සැඟව ඇති බොහෝ දේ ඔබට නිසි ලෙස අවබෝධ කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඔවුන්ගේ සිතුම් පැතුම්, ආකල්ප, ජීවන දැක්ම ඔබට නිරායාසයෙන්ම අවබෝධ කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඔබ ඔහුට හෝ ඇයට හොඳින් සවන් දෙන විට ඔහුගේ හෝ ඇයගේ මුහුණේ ඉරියව් අංග චලනයන්හි අර්ථය පවා සියුම් ලෙස අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනවා. එය ඔබට සාර්ථක සහ සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීම සඳහා පමණක් නොව ඔබේ තේරීම නිවැරදි ද යන්න අවබෝධ කරගැනීමට පවා විශාල උපකාරයක් වෙනවා.

2. විවෘත ලෙස අදහස් ප්‍රකාශ කරන්න.
ඔබ ඔබේ ආදරවන්තයාට හෝ ආදරවන්තිට හොඳින් සවන්දෙනවා මෙන්ම ඔබේ අදහස් හා සිතුම් පැතුම් පැහැදිලිව ප්‍රකාශ කිරීමද අබෝධාත්මක සහසම්බන්ධතාවයට අත්‍යවශ්‍ය කරුණක්. ඔබ නිහඬව සිටීම, ඔබ නිසි ලෙස ඔහු හෝ ඇය සමග සන්නිවේදනය නොකිරීම, ඔවුනට ඔබව හොඳින් අවබෝධ කර ගැනීමේ අවස්ථාව අහිමි කිරීමක්. එබැවින් ඔබ ඔහු හෝ ඇය සමඟ සෘජු හා විවෘතව අදහස් බෙදා හදා ගැනීම සිදු කළ යුතු වෙනවා. එසේ නොවන විට සාර්ථක ආදර බැඳීමක් ගොඩනගා ගැනීමට අපහසු වන අතර ඉන් ඔබේ සහකරු හෝ සහකාරිය ප්‍රීතියට පත් වන්නේ නැහැ. එබැවින් ඔබට අවශ්‍ය දේ, ඔහුගෙන් හෝ ඇයගෙන් බලාපොරොත්තු වන දේ සෘජුව සහ ආදරණීය ලෙස ප්‍රකාශ කරන්න. ඔබට ගැටළු සහගත අවස්ථා පැන නගින විට ඒ පිළිබඳව විමසන්න. සාකච්ඡා කරන්න. ගැටලු විසඳාගන්න. එසැණින් එම ගැටළු අමතක කර දමන්න.

3. ඔහුව හෝ ඇයව විනිශ්චයට ලක් නොකරන්න.
ආදර සබඳතා මෙන්ම විවාහ සබඳතා ද හැම විටම ඉතා සුන්දරව ඉදිරියට ගලා යන්නේ නෑ.විටින් විට විවිධ ගැටලු සහ ප්‍රශ්න ඇතැම් විට සිත් රිදවීම් සහ වේදනාවට පවා මුහුණ දීමට සිදු වෙනවා. බොහෝවිට මෙවන් අවස්ථාවලදී ඔබ ඔබේ ආදරවන්තිය හෝ ආදරවන්තයාට චෝදනා කරන්න පුළුවන්. බැන වදින්න පුළුවන්. එහෙත් එය සාර්ථක සහ ශක්තිමත් බැඳීමකට විශාල බාධාවක්. එබැවින් ඕනෑම ගැටළුවක් පැන නැගුණු අවස්ථාවකදී පූර්ව විනිශ්චයන් ගෙන් තොරව එය විසඳා ගැනීමට උත්සාහ කරන්න. ඔවුන්ව විනිශ්චයට ලක් කිරීමට පෙර විවෘත ලෙස ප්‍රශ්න ඇසීමෙන් ගැටලුව ඇතිවීමට හේතුව සොයා ගැනීමට උත්සාහ කරන්න. එය ඔබට ඔබගේ සහකරු හෝ සහකාරිය අවබෝධ කර ගැනීම සඳහාගත හැකි ඉතා හොඳ පියවරක් ලෙස සඳහන් කරන්න පුළුවන්.

4. සංවේදනය(Empathy)ප්‍රගුණ කරන්න.
සංවේදනය එසේත් නැතහොත් අනෙකාගේ දුක් වේදනාවන් අවබෝධ කරගැනීමට ඇති හැකියාව වත්මන් ලෝකය තුළ වෙසෙන මිනිසුන් තුළ දක්නට ලැබෙන්නේ ඉතාම අඩුවෙන්. එහෙත් සාර්ථක ජීවන සබැඳියාවක් සඳහා “අනෙකාගේ දුක අවබෝධ කරගැනීම” අත්‍යවශ්‍යම ගුණාංගයක්. ඔබේ සහකරු හෝ සහකාරියගේ දුක් වේදනාවන් ඔබට දැනෙන බව, ඔහුගේ හෝ ඇයගේ චිත්තවේගයන්  ඔබට දැනෙන බව ඔවුන් දැනගෙන සිටීම, ඔබේ සම්බන්ධතාවය යහපත් එකක් බවට පත්කරගැනීමට ඔබට ඇති මහඟු අවස්ථාවක්. ඔබ දෙදෙනාගේ බැඳීම ශක්තිමත් වීමට මහත් සේ උපකාරී වනු ලබන්නක්. එමෙන්ම එය ඔබට ඔබේ සහකරුට හෝ සහකාරියට ඔබේ උදව් අවශ්‍ය බව හඳුනා ගැනීමට ද හොඳ අවස්ථාවක්. එබැවින් සංවේදනය හැකිතාක් ප්‍රගුණ කරන්න.එතුලින් ඔවුන්ව අවබෝධ කරගැනීමට හැකි තාක් උත්සාහ කරන්න.

ඔබේ ආදරණීය බැඳීම වඩාත් ශක්තිමත් කර ගැනීම සඳහා පළමුව ඔබේ ජීවිතයේ කොටස් කරු නිසි ලෙස අවබෝධ කරගන්න. දෙවනුව ඔහු හෝ ඇයට ඔබව තේරුම් ගන්නට ඉඩහරින්න. ඒ සඳහා සහය වන්න.

මයින්ඩ් හීල්ස් උපදේශන මනෝවිද්‍යාඥ
අරෝෂා දසනායක මහත්මිය – www.mindheals.org  |   071 3120 740

mindheals_white

Mind Heals is a social service oriented organization incorporated under the laws of Sri Lanka with the primary objective of supporting the nation to relieve from adverse emotional/ psychological/ mental health conditions. Mind Heals introduces a ‘Digital Health Service platform’ specifically focused on mental health care and psychotherapy services. The platform brings together licensed professionals serving diversified areas of psychology and mental health, to provide accessible mental health care.

Copyright © 2020 Flincube. All rights reserved.

X