ඔබේ සතුට ඔබ ළඟමයි!

August 8, 2021
Blog-post-banner-arosha-1200x646.jpg

මයින්ඩ් හීල්ස් උපදේශන මනෝවිද්‍යාඥ
අරෝෂා දසනායක මහත්මිය – www.mindheals.org  |   071 3120 740

“ඔබ දන්නවද සතුට හොයාගන්නේ කොහොමද කියල මට කියලා දෙන්න?” දිනක් මා වෙත පැමිණි පුද්ගලයෙක් විමසා සිටියා. ඔහු දිගු කලක් පුරා විශාල මානසික පීඩනයකින් පෙළෙන බවත් සතුට යනු කුමක්දැයි නොදන්නා බවත් තවදුරටත් මා සමඟ පැවසුවා. ඇත්තවශයෙන්ම අප සියල්ලෝම සතුට අත් විඳිනවාද?


වර්තමාන  තරඟකාරි ජිවන රටාව,  අප අත්විඳින විවිධ ප්‍රශ්න, ගැටලු සහ මානසික පීඩනය සමඟ අපට අපේ ජීවිත වල සතුට සොයා ගැනීම  ඉතා අසීරු දෙයක් බවට පත්ව තිබෙනවා. එහෙත් අප අත්විඳින මානසික පීඩනය සමනය කරගැනීම උදෙසා  සතුට අපට නැතිවම බැරි දෙයක්. මිනිසුන් වන අප නිරන්තරයෙන්ම සතුට සොයා යන ජීවීන් කොටසක්. හොඳ රැකියාවක්,හොඳ මිතුරු මිතුරියන්, මුදල් ඉපයීම, ලස්සන නිවසක්, ආදරය ලැබීම හා සුන්දර රූපයක් ලබා ගැනීම වැනි බොහෝ දේ තුළින් සතුට සොයා ගැනීමට අප උත්සාහ කරනවා. එහෙත් මෙසේ අප සොයා ගන්නා සතුට හැම විටම අප ළඟ තබා ගැනීම පහසු කාර්යයක් වන්නේ නෑ. අපට විවිධ අවස්ථා වලදී විවිධ ගැටලු පැන නගිනවා. මෙසේ දිගින් දිගටම විවිධ ගැටලු සහ මානසික පීඩනයට ලක් වීම අපගේ යහපත් මානසික සහ ශාරීරික සෞඛ්‍යට තර්ජනයක් බව සියල්ලෝම දන්නා පොදු කරුණක්. එබැවින් යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වා ගෙනයාම අත්‍යවශ්‍ය දෙයක් වනවා. කෙදිනක හෝ ඔබේ සියලු ප්‍රශ්න හා ගැටලු විසඳා සතුට සොයා ගැනීමට ඔබ අපේක්ෂා කරන්නේ නම් ඒ කිසිදාක සිදු වන්නක් නොවෙයි. එනිසා ඔබ එදිනෙදා ජීවිතය තුළ සතුට අත්විඳිය හැකි ක්‍රමවේදයන් සොයා ගත යුතු වෙනවා. පහත සඳහන් සරල ක්‍රම අනුගමනය කිරීම තුලින් ඔබට එදිනෙදා ජීවිතයේ මානසික පීඩනය අවම කොට සතුට නිර්මාණය කර ගැනීමට හැකියාව ලබාගත හැකියි.

1. සංගීතයට සවන් දෙන්න.

සංගීතය දිව්‍යමය ඖෂධයක් බවට පුරාණ කියමනක් තිබෙනවා. උසස් ගණයේ සංගීත ඛණ්ඩ සහ සවනට මිහිරි, ඝෝෂාකාරී සහ වේගරිතද්ම නොවන සංගීතයට නිතර සවන් දීම තුළින් ඔබේ මනස සන්සුන් වන බවත් මොළයේ රසායනික විපර්යාසයන් සිදු වන බවත් පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා.එමෙන්ම සංගීතයට සවන් දීම තුළින්  ඔබේ ශරීරයේ කෝටිසෝල් මට්ටම පහළ හෙළන බවත්, එමගින් පීඩනය අවම කරන බවත් ඔවුන් තවදුරටත්  සොයාගෙන තිබෙනවා. වර්තමානයේ දී සංගීතය රෝග නිවාරණ චිකිත්සක ක්‍රමයක් ලෙස පවා භාවිතා වන අතර එය වේදනාව නැසීමේ ඖෂධයක් ලෙසද දක්වන්න පුළුවන්. එබැවින් හැකි හැමවිටම ලස්සන ගීත ඛණ්ඩයන්ට සවන් දෙන්න. මිහිරි නාද රටාවන් රස විඳින්න.

2. සතුට තෝරාගන්න.

ඔබ උදෑසන අවදි වන විට පළමුව සිතන්නේ  කුමක් පිළිබඳව ද?  බොහෝ විට ඔබට ඇති ප්‍රශ්න, ඔබේ වේදනා සහ නිම නොකරන ලද ඔබේ වැඩ පිළිබඳව විය හැකියි. එහෙත් ඔබ අවදි වන විට ම සතුට පිළිබඳව අවධානය යොමු කරන්න. සතුට ළඟා කර ගැනීමට අද දිනය තුළ ඔබට කළ හැක්කේ මොනවාදැයි සිතා බලන්න. ඔබ සතුටට පත් වන්නේ කුමන ක්‍රියාවන් සිදු කිරීම තුළින් ද යන්න බොහෝ දෙනෙක් දන්නා නමුදු ඒවායේ නිරතවීමට බොහෝ දෙනා පෙළඹෙන්නේ නැහැ. එහෙත් අද දිනය තුළ ඔබට වඩාත් සතුටු විය හැකි දේ  පිළිබඳව අත්හදා බැලීමට කිසිවිටෙකත් පසුබට නොවන්න.

3. හැකිතරම් සිනාසෙන්න.

“සිනහව යනු හොඳම ඖෂධයයි” යැයි  යන කියමන ඔබ අසා ඇතිවාට සැකයක් නැහැ. සිනහව ඔබට බොහෝ ප්‍රතිලාභ ලබා  දෙනවා. ඔබේ ප්‍රතිශක්තිය ඉහළ දමනවා. ඔබට දීර්ඝායුෂ ලබා දෙනවා. එබැවින් හැකිතාත් විහිළු තහළු කරන්න. ඒවාට සවන් දෙන්න. හඬනගා සිනාසෙන්න. ඔබ නොදැනීම සතුට ඔබ කරා පැමිණෙනු නිසැකයි.

4. යහපත් ක්‍රියාවන්හි නියැලෙන්න.

අන්‍යයන් වෙනුවෙන් යහපත් දේ කරන මිනිසුන් වඩා සතුටින් ජීවත් වන බව පර්යේෂණයන් සොයාගෙන තිබෙනවා. එය ඔබට ඔබ පිළිබඳව වටිනාකමක් ලබා දෙනවා. හැකි හැම විටම අන්‍යයන්ට උපකාර කරන්න. හැකි හැම විටම ඔබට  ඔබට හමුවන පුද්ගලයන්ට  සිනහවකින් හෝ සංග්‍රහ කරන්න. ඔවුන් ඔබ වෙත පෙරළා සිනාවකින් සංග්‍රහ කරන විට ඔබට විශාල සතුටක් දැනෙන්නට පුළුවන්. එමෙන්ම ඔබ අන්‍යයන්ට උපකාර කරන විට එය ඔබේ මානසික සෞඛ්‍ය යහපත්ව තබා ගැනීමට දමහත් සේ උපකාර වන්නට පුළුවන්.

5. භාවනාවක නිරත වෙන්න.

භාවනාව ඔබේ මනස සුවපත් කරන තවත් එක් ඖෂධයක්. එය ඔබේ මානසික පීඩනය අවම කිරීමට උපකාරී වෙනවා. ඔබට පහසු සරල භාවනා ක්‍රමයක නිරතවීමට දවසේ පහසු වේලාවක් තෝරාගන්න. දිනපතා සුළු වේලාවක් හෝ භාවනාවක නිරත වීම තුළින් මනස සන්සුන් වීමට  සහ සතුට ගෙන දීමට සමත් වන බව පර්යේෂණවලින් පවා සොයාගෙන තිබෙනවා.

6. කෘතවේදී වෙන්න.

ඔබ වටා සිටින ඇතැම් පුද්ගලයන් ගේ ජීවිත ඇතැම්විට ඔබට වඩා ඉහළ මට්ටමේ පවතින්නට පුළුවන්. ඇතැම් විට ඔබටවඩා ආර්ථික මට්ටමකින් හෝ වෙනත් යම් ලෙසකින් හෝ පහළ තත්වයක සිටින්නටත් පුළුවන්. කිසි විටෙකත් ඒ කිසිවකු හා ඔබේ ජීවිතය සැසඳීමට උත්සාහ නොකරන්න.ඔබට ලැබී ඇති දෙයට සෑම විටම ස්තුතිවන්ත වන්න. ඒ පිළිබඳ සතුටු වන්න.ඔබට තවත් කළ හැකි දේ පිළිබඳව සොයා බලන්න. ඔබේ ජීවිතයට නිසි ඉලක්කයක් තබාගන්න.
ඉහත සඳහන් කරුණු අනුගමනය කිරීමට උත්සාහ කිරීම තුළින් ඔබේ ජීවිතයට සතුට ළඟා කරගත හැකියි. එසේ නොවන අවස්ථාවක  මනෝවිද්‍යා උපදේශන වෘත්තිකයෙකුගේ සහාය ලබා ගැනීමට පසුබට නොවන්න.

 

මයින්ඩ් හීල්ස් උපදේශන මනෝවිද්‍යාඥ
අරෝෂා දසනායක මහත්මිය – www.mindheals.org

 

mindheals_white

Mind Heals is a social service oriented organization incorporated under the laws of Sri Lanka with the primary objective of supporting the nation to relieve from adverse emotional/ psychological/ mental health conditions. Mind Heals introduces a ‘Digital Health Service platform’ specifically focused on mental health care and psychotherapy services. The platform brings together licensed professionals serving diversified areas of psychology and mental health, to provide accessible mental health care.

Copyright © 2020 Flincube. All rights reserved.

X